Quantcast
Channel: October – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 103

මහවැසි මැද උඩමලිබොඩින් අවාරේ සිරිපා කරුණාව

$
0
0
Year and Month October 2018
Number of Days 02
Crew 5 (Sobasiri Team)
Accommodation Andiyamalathanna Ambalama
Transport Public Transport (Bus/ Train)
Activities Hiking, Nature Exploring, Photography
Weather Rainy
Route Colombo -> Avissawella -> Dehiowita -> Deraniyagala -> Udamaliboda -> Gettampana -> Heramitipana -> Uda Maluwa -> Nallathanniya -> Hatton
Tips, Notes and Special remark
  • Do not try this hike on rainy days in you are not confident with your fitness level and attitudes
  • Leach protection is a must but might not be useful since there are trillions of Leaches
  • Take your own food
  • No need to carry filled water bottles since there are plenty of streams
  • Use good shoes or slippers
  • Do not carry heavy backpacks and cover it from rain
  • Keep a knife and some salt with you
  • Be careful about elephants, leopards
  • Be careful about the water level of Kaluganga
  • 50% route if slippery hence be careful
  • Carry Jeewani/ Destrose and important medi pack
  • Do not disturb the nature
  • Do not try to visit Uda Maluwa if it is closed
  • Please do not pollute the environment, bring your own garbage with you
Author Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread

Day o1 –

සමනල රක්ෂිතය යනු පූජනීය ස්ථානයක් බඳුය. උතුම් බුදු සිරි පතුල පිහිටි සමනොළගිර වන්දනාමාන කිරීමට උචිත උඳුවප් පොහොය සිට වෙසක් පොහොය දක්වා කාලය වාරය (Season) ලෙස හඳුන්වන අතර එය දළ වශයෙන් මාස පහකි. ඉතිරි මාස 7 අවාරය (Off-Season) ලෙස හඳුන්වන අතර ඈත අතීතයේ පටන් පැමිණි සම්ප්‍රදාය වනුයේ එයයි. එය හුදෙක් ආගමක් සම්බන්ධ වූ නියමයක් නොවන්නේ ඒ තුළ පරිසරයේ නියමයන් අන්තර්ගත වී ඇති හෙයිනි. සිරිපා අවාරය වසරේ මාස 7 ක් පවතින්නේ සොබාදම් නියමයට අනුව සමනල රක්ෂිතයේ වටිනාකම වැඩි හෙයිනි.

ක්‍රියාදාම සංචාරකයෙක් ලෙස අවාරේ සිරිපා තරණය කිරීම සැබවින්ම දුෂ්කර හා අවදානම් ගමනකි. මෙහි පවතින දුෂ්කරතා වනුයේ අධික වර්ෂාව සහ මීදුම, වන සතුන් සුලභව ගැවසීම, ගස් කඩා වැටීම්, ක්ෂණික ජල පහරේ වැඩිවීම් සහ කිසිදා මිනිස් වාසයක් හෝ පුද්ගලයෙකු හමුනොවන බැවින් කරදර උපද්‍රව සිදුවීමේදී වන හානිය වැඩිවීමයි.

trail head at udamalibada

Path starts from the back of the house

Trail-will-start-from-here

Getting-ready-to-the-hike

Morning refreshed

Blessed

Near Pandeniya oya

Giant-mountains-at-the-silent-forest

small casecades

Mushrooms

Plenty-of-small-falls-and-streams-to-see

සිරිපා තරණයට ඇති ප්‍රසිද්ධ මාර්ග තුන වනුයේ හැටන්-නල්ලතන්නිය මාර්ගය, කුරුවිට-එරත්න මාවත සහ ශ්‍රී පලාබද්දල රජ මාවතයි. පැහැදිලිව පඩි මගින් හැටන් සහ රජ මාවත සමන්විත වන අතර කුරුවිට මාර්ගය ස්වභාවික වන පියස තුළ අඩි මාර්ගයක් ලෙස සෑදී ඇති බැවින් සෙසු මාර්ග යුගලයට වඩා දුෂ්කර බවින් සේම සුන්දරත්වයෙන්ද අනූනය. සිරිපා සමය තුළ බහුතරයක් සැදැහැවතුන් යාම්ඊම් සිදුකරනුයේ මෙම මාර්ග තුන හරහා පමණක් වන අතර තරුණ පිරිස් සෙසු අප්‍රධාන මාර්ග පහෙන් මාර්ග තුනක් භාවිත කරනු ලබයි.

ඉන් අප්‍රධාන මාර්ග තුන වනුයේ දැරණියගල – උඩමාලිබොඩ මාර්ගය දෙහෙනකන්ද-මුක්කුවත්ත මාර්ගය, සඳගලතැන්න-රජමාලේ මාර්ගය වේ. නමුත් මෙම ත්‍රිත්වයට අමතරව තවත් අප්‍රධාන මාර්ග දෙකක් ඇත. නමුත් ඒවා හී පවතින දුෂ්කර බව හා අවදානම අතිශය ඉහළ බැවින් ක්‍රියාදාම චාරිකාකරුවන් පවා එම මාර්ග භාවිත නොකරනු ලැබේ. ඒවා නම් බත්තුළුඔය පැරඩයිස්/ දිය ඇලි මාර්ගය, සමනල දුර්ගය මාර්ගය වේ.

සමනල රක්ෂිතය හැඩ කරන මහා කඳු අතර සමනල කන්ද ලංකාවේ උසින් පස්වන ස්ථානයෙහි ලා වැජඹෙන අතර ඊට අමතරව බෑන සමනල හීන් පිදුරුතලාව/ පැදුරුතලාගල කන්ද, කුණුදිය පර්වතය, බල්ල, බැඳිගල, රත්කන්ද, සප්තකන්‍යා කඳුවැටිය, මහ පිදුරුතලාව සහ ගවරවිල කන්ද සමනල රක්ෂිතය වසාගෙන සිටින දැවැන්ත කඳු වේ. මේ අතර සමනල රක්ෂිතයේ ජල උල්පත්වලින් කුලුඳුලේම උපදින ගංගාවන් රාශියක් ඇති අතර ඉන් කළු සහ කැලණි ප්‍රමුඛ වේ. අතීත ජන කවි වහරේ තිබුණද මහවැලි සහ වලවේ ගංගා යනු හෝර්ටන්තැන්නෙන් උපදින මහා ගංගාවන් වන බව අපි මින් පෙර ගවේෂණ මගින් දැනගත්තෙමු. මෙම දියවර නිර්මාණය කරන අලංකාර දියඇලි සමූහයක් තවමත් මිනිස් පහස නොලද ඉසව්වල පවතින නමුත් ඉන් නායගඟේ ඇලි හත, කුණු දිය පව්ව දියඇලි දාමය, වර්ණගල ඇල්ල, මාපලාන ඇල්ල, කූනිස්සන් ඇල්ල, හාල්මැහි ඇල්ල, සීත ගඟුල ඇලි, යකා ඇඬූ ඇල්ල, රජමාලේ ඇල්ල, ගාථමොර් සහ මරේ අැල්ල ශ්‍රීපාද සහ ගවරවිල ඇලි මින් ප්‍රධාන වේ.

Welcomed us

At-another-stream

Natures-Secrets

On the way

Time-for-a-selfie

More-to-go

More to see

Jungle trek

through-the-darkness

ශාක සහ ජෛව විවිධත්වයෙන් අනූන සමනල රක්ෂිතය තුළ කොටියා, අලියා, වල් ඌරා, ගෝනා, මුවා, මීමින්නා, ඉත්තෑවා සහ තවත් අවශේෂ සතුන් වර්ග මෙන්ම ජලාශ සහ උරග විශේෂ ගණනාවක් මෙහි වාසය කරයි. පක්ෂි රජදහනක් වන මෙහි වටිනාකමින් අධික ශාක බහුලව තිබෙන බව නොරහසකි. වල්ලපට්ට, දෝතලු, කටුකිතුල්, බාඳුරා, කඳුලැස්ස, උඩවැඩියා වර්ග ආදී දහසකට අධික ශාක හා පැළෑටි මෙහි කාලගුණික තත්ත්වවලට අනුගත වී වර්ධනය වෙයි.

මෙවර අප දැරණියගල-උඩමාලිබොඩ හරහා මහ වැසි මැද අවාරයේ සිරිපාදය කරුණා කිරීමට සැරසුණේ පරිසරයේ ස්වභාවය සහ සුන්දරත්වය වැඩිදුරටත් නැරඹීමට තිබූ ආශාව නිසාවෙනි. කොළඹ සිට දැරණියගලට පොදු ප්‍රවාහනයේ ගිය පසු දැරණියගල සිට උඩමාලිබොඩ බසයෙන් බසය නවත්වන ස්ථානයට යායුතුය. පසුව එතැනින් තුන්රෝද රියක හෝ පා ගමනින් ස්ථිර වශයෙන්ම ගමන පටන් ගන්නා ස්ථානයට යාමට තවත් කි.මී. 6 ක් පමණ යා යුතුය. එවිට ඔබට ශ්‍රී පාදයට මැයෙන් සඳහන් නාම පුවරුවක් සහිත නිවසක් අසලට ළඟාවිය හැක.

මෙතැන සිට ඔබ පිවිසෙන්නේ සමනල රක්ෂිතයටය. මෙතැන සිට කි.මී. 5 ක් පමණ ගිය පසු කළු ගඟ හමුවන අතර පසුව මාර්ගය කුරුවිට – එරත්න මාර්ගයට සේන්දු වේ. වැඩි දුෂ්කරතාවක් සහිත මෙම මාර්ගය වන අලි ගැවසෙන කූඩැලි ගුළි පවතින මඟක් බවට ප්‍රචලිතය. නිවසට යාබදින් අප පන්දෙනිය ඔය හරහා ගොස් අනෙක් පසට පිවිසියේ චිරි චිරි පොද පටන්ගත් සැණිනි. සීතල දිය දහරාව වේගයෙන් ගලාගෙන යන අතර ක්‍රමයෙන් තුරුලතා අතරින් අඳුරු අහස් කුස පතිත වන්නට විය.

මෙම ගමනේදී අපට බොහෝ වෙහෙසකර වන්නේ කූඩැල්ලන් පියවරක් පියවරක් පාසා සිටීමයි. එම නිසා ඊට සුදුසු පිළියම් ලෙස ඩෙටෝල් සහ පොල්තෙල් පල් කරගත් මිශ්‍රණය, තලා ගත් දුම්කොළ මිශ්‍රණය, ඇලම් භාවිතය සහ කූඩැලි මේස් භාවිතයෙන් අපි තරමක් සන්නද්ධව සිටියෙමු. නමුත් කූඩැල්ලා යනු අපටත් නොදැනීම අපගේ පපුව මුහුණ හරහා හිසට පවා යන සතෙකු බව අපි පෙර අත්දැකීම් මගින් දැනගෙන සිටියෙමු.

පන්දෙනිය ඔය පසුකරනවාත් සමග ලේ සුවඳට මත් වූ කූඩැල්ලන් සතර අතින් අප කරා පැමිණෙන්නට වූ අතර අඩි මාර්ගය යන්තමින් අපහැදිලි වුවත් එය නිශ්චය කර ගැනීමට අපහසු නොවුණි. සෙමින් සෙමින් අප ඉදිරියට ගමන් කරන්නට වූ අතර තවමත් උදෑසන දහයටවත් නොමැති වුවද වනපෙත ගොම්මන් අඳුරක ගිලී තිබුණි. මහ ඝෝෂාවකින් හා වියරු බවකින් ගලාගෙන යන පන්දෙනිය ඔයේ ශබ්දය අතර අතු පතර මත වැටී පනින දිය බිඳු මගින් ක්‍රම ක්‍රමයෙන් අපි තෙත් වන්නට වුණෙමු.

මීට වසර පහකට පමණ පෙර අප යන විට තිබූ අපැහැදිලි මාර්ගය මේ වන විට හොඳ අඩි පාරක් බවට පත්ව ඇති අතර අවාරයේ බොහෝ පිරිසක් මෙම මාර්ගය භාවිත නොකරන බැවින් ශීඝ්‍ර ශාක වර්ධනයක් සිදු වන පරිසරය විසින් අප යන මඟ අහුරා තිබුණි. වැහි වලාව ද මදක් දරුණු වන්නට වූ බව දැනුණේ අඩි මාර්ගය දිය පහරක් ලෙස අපට දක්නට ලැබුණු නිසාවෙනි. තව ද කුඩා දිය පහරක් තරණය කරන්නට අපට වතුරට බැසීමට සිදු වූ අතර ජලයේ වේගය ඉතාමත් අධික විය.

නැවතත් අපි ඉදිරියටම ගමන් කළේ කෙසේ හෝ වැස්ස තවත් ප්‍රචණ්ඩ වීමට මත්තෙන් එරත්න මාර්ගයට පිවිස අද දින රැය පහන් කිරීමට සුදුසු ස්ථානයකට ගොඩවැදිය යුතු නිසාවෙනි. මාර්ගය පුරාවට ජලය ගලාගෙන ඒමෙන් පස බුරුල්ව එරෙන සුලු විය. කූඩැල්ලන් කලිසම් දිගේ ඉහළට නැගීමේ අඩුවක් නම් දක්නට නොලැබුණි. අපගේ සගයෙකුගේ පපුවට සහ බෙල්ලට යාමට තරම් උන් වේගවත් වී තිබුණි. ගල් කුට්ටි මත හිඳ වැස්සේම මඳ විවේකයක් ගෙන මතුපිටින් පෙනෙන කූඩැල්ලන් ගලවා දමා නැවත ගමන ආරම්භ කළේ මඳක් කඳු නැගීමකට අවතීර්ණ වෙමිනි.

මාර්ගය බෙහෙවින් ලිස්සන සුලු වූ අතර තද වන ගහණයක් දෙපසම දක්නට ලැබුණි. ක්‍රමවත්ව දැකගත හැකි අඩි මාර්ගය වූ අතර අප විශාල ගල් බිත්තියක් අතරින් වැටී තිබුණ මාර්ගය ද පසුකොට ඉදිරියටම ඇදුණි. වර්ෂාව හේතුවෙන් පරිසරය අඳුරේ ගිලී තිබුණු අතර මීදුම් සළු තුරු හිස් අතරින් වරින්වර එබෙමින් අප යන මග විමසා බලන්න විය. එක් ස්ථානයකදී එතරම් පරණ නොවූ අලි වසුරු දැකගත හැකි වූ අතර වල් ඌරන්ගේ අඩි සලකුණු ඊට මඳක් නුදුරින් දිය කඩිත්තක් අසල දැකගැනීමට හැකි වුණි.

Due to heavy rain on these days

Guys-are-on-the-way

Another-stream

Group-selfie

A landmark of the journey

Pure Sri Lankan

Kuruganga

On the way of Heramitipana

Selfie-time.

Keep walking for the target

තවත් කිලෝමීටර් කිහිපයක් යන විට අපි දිය දහරාවන් කිහිපයක් පසුකරමින් ඉදිරියට ඇදුණෙමු. කෙසේ හෝ පැය 3 කට අධික කාලයක් මහවැසි මැද අප පැමිණි මග අවසානයට ළඟාවීමේ අස්වැසිල්ලක් සහිත ස්ථානයකට පැමිණීමට නියමිත බව අපට දැනුණේ ගඟක ශබ්දයකිනි. එය නිසැකයෙන්ම සීත ගඟුල නොහොත් කළු ගඟ විය යුතු බව අපට සිතුණි. කෙසේ හෝ අපගේ මාර්ගය බාධක වෙමින් දැවැන්ත ගසක් කඩාවැටී තිබුණි. ඉන් රිංගා අනෙක් පසට ගොස් මීටර කිහිපයක් ගිය පසු අප සේන්දු වූයේ කළු ගඟ අසලටය.

උඩමාලිබොඩ මාර්ගයේ හමුවන ප්‍රධානම මං සලකුණ මෙය වන අතර මෙතැන් සිට එරත්න මාර්ගයට බොහෝ දුරක් නොමැති වග අපි දැනගෙන සිටියෙමු. අහස් කුසට විවෘත පරිසරයට පැමිණි අප දුටුවේ අඳුරු වුණු නමුත් මඳක් අඩු වූ වර්ෂාවක් සහිත අහසකි. නමුත් මීදුම් තත්ත්වය නිසා අපට අවට කඳු දැක ගැනීමට නොලැබුණි. කෙසේ නමුත් අප ගෙනා ආහාර ගැනීමට සහ දිගු විවේකයක් ගැනීමටත් කූඩැල්ලන් ඉවත් කිරීමටත් අවශ්‍ය වූ හෙයින් අසළ වූ ගල්තලාවක් මතට වී අපි සිටියෙමු. සීතල ජල පහර ගල් වැටිවල හැපී පෙන පිඩු නගමින් ජල බිංදු විසුරවමින් ගලාගෙන යන අතර චිරි චිරි ශබ්දයේ මිහිරියාව විනා වෙනත් කිසිදු ශබ්දයක් අපට නොඇසුණි.

මඳකට වර්ෂාව අඩු වූ නිසාවෙන් නැවතත් අප ඉදිරියට යාමට පටන් ගත්තේ තෙත බරිත වූ ඇඳුම් නැවතත් ඇඳගෙනය. වැසි ආවරණ යුගලයකින් සහ ඇතුළත පොලිතින් කවරවලින් ආරක්ෂා කර ඇති වූ හෙයින් අපගේ ගමන්මලුවලට ජලයෙන් අනතුරක් නොවුණි. මෙතැන් සිට ගමන එතරම් දුෂ්කර මඟක් නොවන අතර ක්‍රමවත් අඩි මාර්ගය එරත්න මාවත හමුවන මංසන්ධිය දක්වා පැහැදිලිව දැකගත හැකිය.

මහ වැස්සේ මඩ සහිත මාර්ගයේ කූඩැල්ලන්ගේ බාධක මැද අප පැමිණි ගමන බොහෝ දුෂ්කර වූයේ මේ සිරිපා අවාරය වූ බැවිනි. නමුත් ජලයෙන් පෝෂිත වූ සුන්දරත්වය අපට සිරිපා වාරය තුළ මෙපමණ දැකිය නොහැකිය. වන අලි වසුරු සහ හෝරා කිහිපයකට හෝ පෙර අලි ගමන්ගත් ඉසව් අතරින් අප ඇවිද කළුගඟ තරණය කළේ ජලයේ වේගය හා පරිමාව ගැන ද සැලකිලිමත් වෙමිනි. එරත්න මාර්ගය හමුවන මංසන්ධියෙන් දකුණට ගිය විට එරත්නටත් වමට ගිය විට හැරමිටිපාණටත් ළඟා විය හැකිය.

Bena Samanala and Kunudiya (KDP) seen

Bena-Samanala-Kondurugala-Kunudiya-and-Heen-Piduruthalawa

Nice-environment.

KDP and Heen Piduruthalawa (Paduruthalagala) seen

Just after the sunshine

This-is-ratnapura-route

We-at-Udamaluwa

Beauty

මෙම ස්ථානයට ළඟම එරත්න ම​ඟේ මං සලකුණ වනුයේ ඉඳිකටුපාණ සහ මැදහින්න අම්බලම්ය. එරත්න මාර්ගයට පිවිසුණු අපට පෙර පරිදිම මාර්ගය දිගේ ගලා එන ජලය දැකගත හැකි වූ නමුත් මෙම මාර්ගය තරමක් පළල හා පහසු මාර්ගයක් වූ බැවින් ඉදිරියටම ගමන් කිරීම අපහසු නොවීය. එමනිසාම මඳ ගතියෙන් වූ වර්ෂාව මැද ඉඳිකටුපාණ අම්බලම වෙත ළඟා වූ අපි නැවතත් මද විවේකයක් ගත්තෙමු. මෙම ප්‍රදේශයේ සුන්දර තැනිතලාවක් ඇති අතර ගුවනට විවෘත විශාල ප්‍රදේශයක් මෙහි විය. නූල් ගෙත්තම සිරිපා ගමන තුළ සාම්ප්‍රදායික චාරිත්‍රයක් බැවින් සෑම මාර්ගයක් තුළම මෙවැනි ඉඳිකටුපාණ හෝ ගෙත්තම්පාණ යන ස්ථාන දක්නට ලැබේ. එය කෝඩුකාරයන් හා සැදැහැවතුන් යම් පමණින් පිළිපදිනා චාරිත්‍රයකි.

මඳ විවේකයක් ගත් අප හවස්යාමය නිමා වන්නට ප්‍රථම හැරමිටිපාණ නැත​හොත් එරත්න පාර රජ මාවතට සේන්දු වන ස්ථානයට යා යුතුව තිබුණි. එම නිසාම හණිකට ගමන පිටත් වූ අපි මඳක් සැනසිල්ලේ ඉදිරියටම ගමන් කළ ද හැරමිටිපාණට පෙර හමුවන දුෂ්කර ගල් පර්වත හරහා යායුතු මාර්ගය තරණය කරන්නට පටන් ගත්තෙමු. කෙසේ හෝ සවස 5 වන විට හැරමිටිපාණ අම්බලමට පැමිණි අප මෙහි රැය නොනැවතී රජ මාවතේ උඩමළුවට ප්‍රථම හමුවන අම්බලම වන ‘‘ආඬියාමළතැන්නට’’ යාමට තීරණය කළේ උදෑසනින්ම උඩ මළුවට ගොස් හිරු උදාව දැකගැනීමේ පුංචි අපේක්ෂාවක් හිත දරාගෙනය.

හැරමිටිපාණේ සිට උඩමළුව තෙක්ම කොන්ක්‍රීට් පඩි අතුරා ඇති බැවින් ගමන් කිරීම අපහසු නොවේ. එමනිසාම කකුල් වේදනාව එතරම් නොසිතාම ඉදිරියට ඇදුණෙමු. සවස් යාමය පසුවන කණිසමේ අපි ආඬියාමළතැන්න අම්බලමට ළඟා වූ අතර රාත්‍රිය එහි ගත කිරීමට සැරසුණෙමු.

එම ශාලාවට පිටතින් අපි තෙමුණු ඇඳුම් සහ බෑග පසෙකින් තබා කූඩැල්ලන් සියල්ලම ගලවා දමා රාත්‍රියට සුදුසු ලෙස සිටීමට සැරසුණෙමු. මන්ද මීට පෙර දෙවතාවකට ආඬියාමළතැන්නේ අවාරේ රැය ගෙවීමේදී පාන්දර වනවිට ශාලාව තුළට තද මීදුම ගලන බව සිහි වූ බැවින් වැඩිපුර ඇඳුම් ඇඳීම අත් කකුල් වසාගෙන සිටීම යෝග්‍ය බව නොරහසකි.

How calm the environment

Think-about-the-freedom

Misty Mountains

Next-plannings

Perfect-and-gloomy-weather

Giants are still sleep

We saw Colombo city

Crazy on identifying these peaks

We were stand above the clouds

the valley of mountains

Mountains through Knuckles, 5 peaks, alugal and Dumbanagala seen

Dell stand above the clouds

Mountains towards HP side

Gate-was-closed

Like to touched them

අවාරේදී විදුලිය නොමැති හෙයින් මුළු සමනල රක්ෂිතයම එකම තනි අඳුරක තිබුණි. කල්තියාම විදුලි පන්දම් ගෙන ආ නිසාවෙන් අප සිටින ප්‍රදේශයේ ශාලාව තුළ ඒවා එල්ලා අවට නිරීක්ෂණය කොට ශාලාවට ඇතුළු වන ස්ථානය මෙහි පසෙක තිබූ ලෑලිවලින් වසා දැමුවේ රාත්‍රියට වල් ඌරන් මෙම ඉසව්වට පැමිණෙන හෙයිනි.

ඉන්පසු අප ගෙන ආ නූඩ්ල්ස් පැකට් සහ අනෙකුත් පාන් වැනි ක්ෂණික ආහාර අප සතු වූ අතේ ගෙන යා හැකි ගෑස් ළිප ආධාරයෙන් පිළියෙල කරගත්තෙමු. නැවතත් මඳ වර්ෂාවක් පටන් ගත් හෙයින් හණිකට ආහාර ගෙන ගමන නැවත ආරම්භ කළ අපි හෙට දිනයේ සැලසුම කතිකා කරගත් පසු අපි නින්දට වැටුණෙමු. මොර සූරන මහ වැස්සක හා මිනිස් වාසයෙන් කිලෝමීටර් ගණනාවක් දුර මහ වනයක උතුම් සිරිපතුල පිහිටි ඉසව්ව පාමුල අප නැවතුණේ හෙට පාන්දරින් උඩමළුවට යා යුතු වූ හෙයිනි.

හෙට දිනයේ වර්ෂාව නැතිවුවහොත් අපට අවට පරිසරයේ සුන්දරත්වය හා අපූර්වත්වය දැකගත හැකි විශ්වාසයෙන් අපි නින්දට වැටුණෙමු.

Day – 02

පරිසරය නිහඬ නැත. වන්දනාමාන හඬක් හෝ වෙනත් කිසිදු මිනිස් වාසයක් පිළිබඳ හඬකුදු නොමැති මහ වනයේ ගව් ගණනක් දුර ඇවිද අප සමනොළගිර අවාරයේ තරණය කළේ උඩමාලිබොඩ – දැරණියගල මාර්ගයෙනි. පෙර දින මහ වැස්සේ ගස් කඩා වැටීම, ප්‍රචණ්ඩ සීත ගඟුල සහ නොකඩවා සැම තැනකින්ම ගලා යන දිය දහරාවන් රාශියක් හරහා යමින් කීරි ගැහෙන සීතලේ වන අලි ගිය මංකඩ පසුකොට මැදහින්න අම්බලම අසලින් එරත්න මාර්ගයට වැටී පසුව හැරමිටිපාන අම්බලම අසලින් රජ මාවතට සේන්දු වී ආඬියාමලතැන්න අම්බලමට ගොඩවැදුනේ අඳුරත් තුරුළු කරගෙනය. ඒ පසුගිය සතියේ ලිපියේ කථාවය.

පසුදින දැඩි සේ වෙහෙසට පත්ව තිබූ හෙයින් රාත්‍රී ආහාර ගෙන නින්දට වැටුණද පසුදින උදෑසනින් අවදිව උඩ මළුවට යා යුතු බව අපගේ සිහියේ තිබුණි. මැදියම් රැයේ එක් අවස්ථාවක අප තිගැස්සී ඇහැරු​ෙණ් එලියේ වූ ලී ​ෙකාටයක් බිමට වැටෙන සද්දෙට විය. යන්තම් වර්ෂාව අඩුව තිබූ හෙයින් වල් ඌරන් රංචුවක් අසල වූ ප්‍රදේශයේ සැරිසරන බව අප දුටුවේ විදුලි පන්දම් එළියෙනි. කෑලි කැපෙන ඝන අන්ධකාරය මුළු ප්‍ර​ෙද්ශය පුරා පැවතුණු අතර අම්බලම් ශාලාවේ දොර අප ලෑලි යොදා වැරෙන් වසා තිබුණද ගොඩනැගිල්ලේ අඩක් විවෘතව පැවතියේ සම්මත ඉදිකිරීම පරිද්දෙනි. ඒ නිසාවෙන් ශාලාවට හොඳ හැටි මීදුම ගලන්නට විය.

Another set of mountains through Maskeliya

The holy destination

Gawarawila seen, the giant of it back might be Mariyakote or can named as Gawarawil Peak

More to identify

The giants of Nuwaraeliya through Maussakele

Another clear view through Knuckles

These are getting cleared

Mountains through Balangoda

Zoom out them

Journey started to Nallathanniya

Greenish

Peace Pagoda at the base of Ballabedigala

Where we were

සගයන් හිසේ සිට දෙපතුල තෙක් පොරෝනවලින් වසාගෙන සිටියේ අධික සීතලට වූ බැවින් අප සියල්ලෝ මිනිස් වාසයෙන් ගව් ගණනක් දුර නින්දට වැටුණි. ඔරලෝසුවේ එලාම් හඬට අප අවදි වන විට වෙලාව තවම පාන්දර 4.30 පමණ විය. තවමත් අඳුරේ කිසිදු වෙනසක් නොතිබුණි. සතා සිවුපාවා මේ කණිසමේ ගමන් කිරීම සුලභ වූ හෙයින් අප පාන්දර පහ වන විට මහගිරිදඹ තරණය කිරීමට සැරසුනෙමු. ආඬියාමලතැන්න අසල වන පියසට ගමන් කරන මාර්ගයක් තිබූ අතර එය හැටන් මාර්ගයේ මහගිරිදඹ ආශ්‍රිතව සම්බන්ධවන වනගත අඩි මාර්ගය විය. වාරයේ හැටන් මාර්ගයේ තදබදය අධික වූ විට සෙසුජනයා හට මෙම අඩි මාර්ගය ඔස්සේ පැමිණ රත්නපුර මාර්ගය ඔස්සේ මහගිරිදඹ නැග උඩ මළුවට ළඟා විය හැකිය.

ලෑලි දොර පළු පසෙක තබා අප සිටි ස්ථානය පිරිසිදු කළ පසු අපි යන්තමින් හිරු මෝදුවෙන කණිසමට පෙර යා යුතු වූ බැවින් ආඬියාමළතැන්නට සමුදී මහගිරිදඹ තරණයට සූදානම් විමු. පඩිපෙළ ආධාරක වූ යකඩ වැට ඇල්ලිය නොහැකි තරම්ය. සීතල පින්න වැටී ඒවා තව තවත් සීතල වී තිබුණි. උදැහැනැක්කෙම වූ හෙයින් අපට කඩිනමින් හුලං කපොල්ල ආසන්නයට ළඟාවීමට ගතවූයේ සුළු වේලාවකි. දෙපොතකන්ද – මුක්කුවත්ත මාර්ගය රජ මාවතට එකතු වන ස්ථානයද පසුකරමින් අපි සුළං කපොල්ලට ළඟා වුණෙමු. එහි සුළඟ අධික වූ අතර මීදුමද ඊට සහයට එකතුව සිටි හෙයින් දැඩි වෙහෙසක් මැද සීතල දරාගෙනම අප සුළං ක​ෙපාල්ල පසුකර උඩමළුවට ළඟා වීමට පය ඉක්මන් කළෙමු. තවමත් මුළු මහගිරිදඹ වසාගෙනම අැත්තේ සුදු මීදුම පමණකි.

කෙසේ හෝ හිරු උදාවට පෙර අප මහගිරි දඹ තරණය කර උඩමළුවට ළඟා වුවද හිමිදිරි අරුණ තවමත් දෙරණත සිප ගැනීමට පැමිණි වග දුටුවේ නැත. පාන්දර 5.30 පසුවූවද හිරු උදාවක් සිරිපා රක්ෂිතයට නූයේ ප්‍රදේශයේ වලාකුළු සහ මීදුම අධික වූ හෙයිනි. කෙමෙන් කෙමෙන් අවට කඳු හා ඈත ගම් දනව් පෙනීමට ගත් නමුදු ඉර සේවයක් අද දිනයේ දක්නට නොලැබුණි.

මොහොතකට අප වලාකුළු උඩ සිටිනා සිතුවිල්ලක නතර වූයේ අප සිටි උඩ මළුව වටා අංශක 360 ම එකම සුදු පාට මීදුමෙන් වැසී තිබුණු හෙයිනි. මිදුම් යාය කොතරම් ප්‍රබලද යත් ඒවා වලාකුළු මෙන් තදට තිබුණි. ඉතාමත් ඈත දුරක් දක්වා උස් කඳුවල මුදුන් ඉහළට එසවී තිබුණේ සුරලොවක අප සිටිනා පරිද්දෙනි.

හිරු උදාවුවද හිරු කිරණ තවමත් නාවේ වැසිබර වලාකුළු මුළු ගගනතම වසාගෙන සිටි නිසාවෙනි. කුණුදිය පර්වතය, බෑන සමනල, හීන් පිදුරුතලාව, ග්‍රේට් වෙස්ටර්න්, පිදුරුතලාගල, ඩෙල්, නමුණුකුල, කොටගල, කොනිකල් ආදී කඳු සේම නකල්ස් වනයේ කඳු වන නකල්ස් වැටිය, අලුගල්කන්ද, කොබෝනීලගල සහ දුම්බානාගලත් අපට දැකීමට හැකිවිය. සමස්ත දිශා අවට අප නිරීක්‍ෂණය කරන්නට වූ අතර බටහිර දිශාවෙන් යන්තමට කොළඹ වරාය හා අවට පරිශ්‍රයද, නෙලුම් කුලුන සහ තවත් උස් ගොඩනැගිලි මැනවින් දැක ගැනීමට හැකිවිය.

Well maintained by the Nature

Seetha Gangula casecades

Refreshed

Getting-close-to-the-end-of-the-trail.

Zoom out view

colorful Nature

Should-come-on-the-season

Dont-remember-its-name

Yaka andu ella

Another loveley

Selfie-with-YAE

Seasonal casecades through Ballabedigala

They are not small

How beautiful them

වලාකුළුවලටත් උඩින් අවාරයේ සිරිපා මළුවේ සිට දැකිය හැකි මෙම සුන්දරත්වය නැරඹීමට පෙර දවසේ අප විඳි වෙහෙස හා පීඩාව ගත යුතුම විය. එය අපතේ නොගිය බව අප දුටු​ෙව් මෙම සුන්දරත්වය නිසාමය. තවද හැටන් මාර්ගයේ සාම චෛත්‍යයට ඉහළින් පිහිටි බල්ලබැඳිගල කන්ද යනු යකා ඇඬූ ඇල්ල වැටෙන මහා පර්වතයකි. එය අද වන විට දිය ඇලි සමූහයකින් සමන්විතව තිබුණි. වර්ෂාව නිසාවෙන්ම එහි කන්ද මුදුනේ සිට පහළට වැටෙන දියඇලි ගණන 7 කට අධික විය. ඒ සියල්ල එකිනෙකට මදක් සමීපව පිහිටා තිබූ බැවින් එම පර්වතයේ සුන්දරත්වය පැවසීමට වචන රහිත තරම්ය. විටෙක කඳු වැටියට පහළින් මීදුම් සළු යායට එළා ඊට ඉහළින් වැටෙන වතුර පහරවල් මීදුම් සළු යට සැඟව තිබෙන දසුන දැකීමට තරම් අපට වාසනාව තිබුණි.

බල්ලාබැඳිගල යනු මහ පිදුරුතලාවට යාබද කන්ද වන අතර සප්ත කන්‍යා කඳු වැටියටද අසල්වැසි වෙයි. හැටන් පා​ෙර් සීත ගඟුලේ උපත සිදුවන්නේ මහ පිදුරුතලාව කන්දෙන් වන අතර මහ පිදුරුතලාව යනු දන්නා තරමින් තවමත් කිසිවෙකුත් තරණය නොකළ ඉසව්වකි. එය තනිකරම ඝන වනාන්තරයක්වන අතර එහි ඇති දේශීය ශාක හා පැලෑටි ගණන මිල කළ නොහැකි වේ.

දෙහෝරාවකට ආසන්න කාලයක් අප උඩ මළුව ආශ්‍රිතව සිටි අතර තුරුහිස් යායට උඩින් තැවරුණු මීදුම් සළු කෙමෙන් කෙමෙන් වියැකී ඈත ගම් දනව් දක්නට ලැබුණු හෙයින් අපගේ සගයන් වූ නිරෝෂ් සහ සමිදුගේ තෙවැනි ඇසට විවේකයක් නොලැබුණි. ඒ අතර සමීර සොයුරා ඔබමොබ දුවන වලාකුළු පටිගත කරන්නට වූයේ හිරුකිරණක් අහස් කුසෙන් එබෙන්නට වෙර දරන ඇසිල්ලේදීය. උඩ මළුව අවාරයේ විවෘත නොකරන නමුත් එහි සිටිනා හාමුදුරු නම සමග කතා කිරීමේදී අප විඳි අත්දැකීම්වලට වඩා දෑ දැනගත හැකි විය. සුවාන් සොයුරා එලෙස විස්තර දැන ගන්නා අතරතුර අවාරයේ වුව උඩමළුව ආශ්‍රිතව සිටින බල්ලන් හට බිස්කට් කිහිපයක් ලබාදීමට තරම් බන්දුජීව සොයුරා කාරුණික විය.

සගයන් සියලු දෙනා තම කාර්යයන් අහවර වූ පසු අප හැටන් පාර ඔස්සේ පල්ලම් බැසීමට තීරණය කළෙමු. රත්නපුර පාරට වඩා හැටන් පාරේ මහගිරිදඹ පඩි සැකසුමේ දැඩි නැග්මක් තිබුණද පාලුවට ගිය මහගිරිදඹේ රිසි සේ නිදහසේ පල්ලම් බසින්නට වූයේ සිරිපා වාරයේ මේ අවට කෙතරම් තදබදයක් තිබේදැයි සිතමිණි. මහගිරිදඹ අවසන් වනවාත් සමගම දකුණට කුඩා අඩි මාර්ගයක් විය. එය සඳගල තැන්න – මරේ වත්ත මාර්ගයේ පිවිසුම වූ අතර වර්ෂාව හේතුවෙන් පඩි රහිත එම මගේ යාම මදකට පසෙකලා අද දවසේ වැඩි වෙහෙසක් නොදරාම හැටන් මගේ යාමට තීරණය කළේ බල්ලාබැඳිගලේ දියඇලි සමූහය සමීපයෙන් දැක ගැනීමට අවශ්‍ය වූ හෙයිනි.

Peace-Pagoda

Might be the target on next year

Makara Thorana

Rajamale Fall

Gartmore falls from Gawarawila

Mohini Fall

Holy peak above the tea lands

the dam

පෙරදින වැස්සට පඩිපේළිය තවමත් තෙතබරිතව තිබූ අතර අවාරයේ දළුලා වැඩුණු තුරුලතා පඩි පේළි දිගේ මාර්ගය මත වැටී තිබුණි. තවමත් පින්න අතු අග දිලෙන්නට වූ අතර චිරි චිරි ගාමින් වන පියස තුළ එහෙ මෙහේ ගලන දිය සීරා ගණනාවක හඬ අපගේ සවන් වැකුණි. ඈතින් උතුරු දිසාවේ කඳු ශිඛර, මාඋස්සාකැලේ ජලාශය සහ ගවරවිල තැන්න පවා දැක ගැනීමට ලැබුණු අතර මෑතින් වන​ෙගාමුවට ඉහළ ගල් වැටි මතින් මීදුම් සළු ඈත්වෙමින් හරිත වර්ණයේ විවිධ පැහැයන් අපට දක්නට ලැබුණි.

ක්‍රම ක්‍රමයෙන් පඩි පේළි බැස අප සීත ගඟුලට ළඟා වූ අතර ප්‍රචණ්ඩව ගලන සීත ගඟුල සහ එහි වූ දිය ඇලි යුගළය පෙණ දමා පින්න පඩි පේළි මතටත් විසි කරමින් ගලන්නට විය. කුඩා පාලමට යටින් අපට යාමට නොහැකි වූයේ ජල පහරේ ප්‍රබලත්වය නිසාවෙනි. එහෙයින් අපි පාලම මතින් ගමන් කර අසල අම්බලමේ මද විවේකයක් ගත්තෙමු.

පසුව නැවතත් ගමන පටන් ගත් අතර එක යායට දුරට විහිදෙන පඩි පේළියේ දෙපස කොන්ක්‍රීට් බැම්ම වසාගෙන පාසි බැඳී තිබෙනු දුටු ස්ථාන ආශ්‍රිතව වනරොද පෙනුනේ ස්වර්ගයට යන ද්වාරයක් ලෙසිනි. මෙවැනි සුන්දර දර්ශන අපට දැකීමට ලැබීම සමන් දෙව් අඩවියේ වාසනාවක් යැයි අපට සිතුණි. විටෙක වම් පසින් වනය තුළින් ගලා එන ජලකඳ පඩි පේළි දිගේ ලියැදි ක්‍රමයට ගලා යමින් අනෙක් පසට පැන වනයේම අතුරුදන්වූ අතර වනතුරු ලතා සහ කෘමීන්ගේ ඡායාරූප ගනිමින් අපි නිදහසේ ගමන් කරන්නට වීමු.

හෝරා කිහිපයකට පසු අප යකා ඇඬූ ඇල්ල පිහිටි සාම චෛත්‍ය අසලට පැමිණි අතර ඊට ළඟා වීමට ප්‍රථම අපි අලංකාර දියඇලි සමූහයක් අසල කන්දෙන් ඇදහැලෙනු දුටුවෙමු. බල්ලාබැඳිගල මුදුනේ අැළයට පිහිටි විශාල සමතලා බිම වර්ෂා කාලයට එකම වැසි ජලය රූටාගෙන එන ඉසව්වකි. එම වැසි ජලය කන්ද මුදුනේ විවිධ බෑවුම් අතරින් පහළට වැටෙන්නේ ගල් තලා දිගේය. මීටර 50 කට වැඩි උසක දී වැටෙන මෙම ඇලි ගල් බිත්තිය වෙන්වන ස්ථානයකදී නැවතත් ඇලි බවට පත්වන්නේ දුර සිට මෙහි සුන්දරත්වය බලන්නෙකුට අලංකාර දියඇලි සයක් පමණ පෙන්වමිනි. මෙම ඇලි සක්‍රීය වන්නේ වැසි සමයට පමණක් වන නමුත් සාම චෛත්‍යය මුදුනේ පිහිටි යකා ඇඬූ අැල්ල නිරන්තරයෙන් පවතින ඇල්ලකි.

ඇලි සියල්ලේ විවිධ ඡායාරූප ගත් පසු අප ගමන නැවතත් පිටත් වූ අතර එක එල්ලේ අප පල්ලම් බැස්සේ මකර තොරණ අසලටයි. ගම්වැසියන් දෙතුන් දෙනෙකු මේ අසලදී අපට හමුවූ අතර තවමත් දහවලට ළං නොවූ හෙයින් අප මේ ඉසව්වේ වනය තුළ පවතින රජමාලේ ඇල්ල බැලීමට ගියෙමු.

ඉතා පිරිපුන්ව කඩා වැටෙන රජමාලේ ඇල්ලේ දියවර මාඋස්සාකැලේ ජලාශයට ගලාගෙන යයි. පසුව අපි නල්ලතන්නියට පැමිණ ජලාශය දෙසට ගමන් කළෙමු. මාඋස්සාකැලේ ජලාශය අතිශය සුන්දර විය. ඈතින් ගාලුමෝර් දියඇලි යුගලය කන්ද මතින් ඉතා පිරිපුන්ව ඍජුවම කඩා වැටුණේ ජලාශයටයි. ඊට අමතරව ඉහළ ගාලුමෝර් ඇලි ගවරවිල කන්දෙන් කඩා වැටෙනු අපි දුටුවෙමු. සිරිපාකන්ද අලංකාරව දැකගත හැකි සේම අහස් වියනේ වර්ණ රටා මැද හරිත දනව්ව නිල් දියවරට සුන්දරව තිබුණේ තෙල් සායමක් පරිද්දෙනි. අප මේ අවට තව තවත් ඇවිද යමින් සුන්දරත්වය නරඹන්නට වූයේ හැටන් වෙත යන බස් රථය පිටත්වීමට තවත් වේලා තිබුණු හෙයිනි.

විසල් තුරු මුදුන් විසින් සැකසූ උඩු වියන සහ සීතලත් තුරුලුකරගෙන සමන්දෙව් අඩවියේ අත්දැකීම් හිත දරාගෙන අප සෙමින් ඇවිද ගියේ මෝහිණී ඇල්ල දෙසටයි. බස් මාර්ගයේම පිහිටි මෝහිණී ඇල්ල කුඩා ලක්ෂපාන ඇල්ල ලෙසද හඳුන්වනු ලැබේ. මීටර 30 ක් පණ උසැති ඇල්ල ඉතා පුළුල්ව කඳු වැටියේ ඉහළ සිට කඩා වැටුණි. එම දියවරද අනෙක් පස පිහිටි මාඋස්සාකැලේ ජලාශයට ගමන් කරයි. නල්ලතන්නිය සහ මස්කෙලිය අවට වර්ෂාකාලයේදී විශාල දියඇලි ප්‍රමාණයක් නැරඹිය හැකිය.

විශේෂයෙන් සමනල, ගවරවිල කඳුවැටිවලින් ගලන දියවරින් උපදින දියඇලි සියල්ලේම ජලය ගමන් කරනුයේ මාඋස්සාකැලේ ජලාශයට වන බැවිනි. මහ වැස්සේ අවාරේ දෙදිනක් සමනල රක්ෂිතය තුළ සැරිසරා අප විඳි අත්දැකීම නැවත ආවර්ජනය කරමින් උණු පොල් රොටීවල රස බලා හැටන් බලා යන බස් රථයට ගොඩවූයේ සමන් දෙවි අඩවියෙන් ආශිර්වාද ලබා ගනිමිනි.

Online Articles :

Article 1 , Article 2

 

Thanks for reading!

Sobasiri Team © 2018

Centered

This time we were elucky to see this much of water

Getting dark

The reserviour

Holy-peak

Small islands are covered

Adams-Peak-fall.

Little islands

Pano 1

Pano 2


Viewing all articles
Browse latest Browse all 103

Trending Articles